ගෞතම බුදුන්ගේ ශාරීරික ධාතු (relics)

1
418
ගෞතම බුදුන් Lord Buddha

ගෞතම බුදුන්ගේ ශාරීරික ධාතු (relics)

ප්‍රථමයෙන්ම, අද ලංකාවේ ඇති අපමහ ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහ පාරිභෝගික වස්තු, ලේඛන හා වාර්තා ඔස්සේ උපුටා ගනිමින් පෙලගස්වමු.

සිදුහත් අසිපත

ලෝකයේ දැනට සදහන්වී ඇති බුද්ධ ඉතිහාසයේ, පුරාණතම වස්තුවය වන එදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමනයේදී සිය කෙස් වැටිය සිඳලූ අසිපත මෙය ය. කතරගම කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (1)

කේශ ධාතු

එදා අහසට විසිකර දැමු කේශ ධාතු දේවගොත්රික නායකයා වූ සක්දෙව් විසින් තවුතිසා ලොව, සිළුමිණ නම් සැයක් සදා තැම්පත් කර බව සදහන්වන මුත් අද දක්වා එය කොහිදැයි හදුනාගෙන නොමැත. තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ලබාගත් කේශධාතු ස්ථාන රැසක තැම්පත් කර ඇත. ඒවා නම්,

සිරිහඩු (සිරි=බුදුන්, හඩු=කෙස්) සෑය තිරියාය (2) පසුව මෙය ගිරිහඩු සෑය නම්විය. මෙම ස්ථානය ආකාශ චේතිය නමින්ද හැදින්වූ බවට සාදක ඇත.

ගිරිහඩු සෑය අම්බලන්තොට (3)

කුරුණෑගල මාවතගම, අරම්පල මකුලාන රජමහ විහාරය (4)

හම්බන්තොට කළමැටිය ආසන්නයේ ඇති (එහි දාගැබ් නවයක් ඇත) විහාර නමය (5)

හම්බන්තොට ගොඩවාය වරාය අසල ගෝටපබ්බත රජමහ විහාරය (6)

දකුණේ තංගල්ල වනවාස විහාරය නොහොත් කුඩා තංගලු විහාරය අසල ගිරිහඩු සයක් ඉදිකර ඇතත් අද මෙය හදුනාගත නොහැක. ඉහත සදහන් සියලු ස්ථාන වල ඇත්තේ තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ට ලබාදුන් කේශධාතු කොටස් ය. එනමුදු අද බැතිමතුන් සිතනුයේ තිරියායේ පමණක් තැම්පත් කල බවය. ඒ හා සමාන අනිත් ස්ථාන බොහෝදෙනෙකු නොදැන සිටීම මෙයට හේතුවය .

මීට අමතරව තපස්සු භල්ලුක වෙළද දෙබැයන් විසින් ජයසේන නම් නා රජුට ලබාදුන් තවත් කේශධාතු කොටසක්, කාවන්තිස්ස රජුකල සිව නම් භික්ෂුන් වහන්සේ නමක් රැගෙනවිත් සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ (7)

බුද්ධත්වයෙන් නමවන මස මියුගුණ දම් දෙසුමේදී, සුමන රජුට ලබාදුන් කේශධාතු මහියංගන ච්යිත්‍යයේ නිදන් කෙරුණි (8)

මහසෙන් රජ කල කරවූ (කි.ව.274-301) අනුරාධපුර ජේතවන මහා ස්තුපය තුල තවත් කේශධාතු කොටසක් ඇති බව, වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය (9)

බුදුරදුන් මුතියංගන වැඩමවූ අවස්ථාවේ ඉන්දික නම් දේව පුත්‍රයාට දුන් කේශධාතු මුතියංගන දාගැබෙහි තැන්පත් කර ඇත (10) මාට අමතරව මුතු බවට පත්වූ බුදුන්ගේ දහදිය එහි ඇතයි විශ්වාසයක් පවතී .

බුදුරදුන් කතරගමට වැඩි අවස්ථාවේ එකල එහි පාලක වූ මහසෙන් නොහොත් මහාඝෝෂ රජුට ලබාදුන් කේශධාතු කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (11)

මහනුවර යටිහෙලගල විහාරයෙහි, පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ කේශධාතු කොටසක් තැම්පත් කර ඇත. එම කේශධාතු ලැබුණු ආකාරය සදහන්ව නැත (12)

පළමුවන මුගලන් රජු සමයේ, ශිලාකාල නම් කෙනෙකු දඹදිව සිට කේශධාතු රැගෙනවිත් තිබුනද, අද එය තැම්පත් කල ස්ථානය සොයාගැනීමට අපහසුය.

තවද බුදුරජුන් ජීවමාන සමයේ රහතුන් වහන්සේ සයනමකට ලබාදුන් කේශධාතු මුහුද ආශ්‍රිත පෙදෙසක ස්තුප සයක තැම්පත් කෙරුණි. එම දේශය “කේශාවති” නමින් හදුන්වනු ලෑබු නමුත් අද හදුනාගත නොහැක.

මීට අමතරව බංගලිදේශය, බුරුමය වැනි රටවලද කේශධාතු නිදන්වූ වෙහෙර විහාර ඇති නමුත් “ඉන්දියාවේ” කේශධාතු හෝ නකාධාතු තැම්පත් කල ස්ථාන හමුවී නැත. බංගලිදේශයේ ඇති කේශධාතු වලින් කොටසක් නැවතත් හුණුපිටිය ගංගාරාමය හා මාදම්පේ සේනානායකාරාමයේ මෑතකදී තැම්පත් කර ඇත.

ග්‍රීවා ධාතුව (බෙල්ල ආශ්‍රිත අස්ථි සතක්) (13)

සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරබූ තෙරුන්, එදා උපවත්තන සල් උයනේ පිරිනිර්වානයෙන් පසු දැල්වූ ච්තකයෙන් ලබාගත් ලොව ප්‍රථම සර්වඥ ධාතුව, තැම්පත් කෙරුනේ පෙරකළ සුමන රජු කේශධාතු තැම්පත් කල මහියංගන ස්තුපයේම ය. හෙළ භික්ෂුවක් වූ සරබූ තෙරුන් එදා එහි පැමිණියේ තවත් භික්ෂුන් වහන්සේ පන්සීය නමක් සමගිනි . සීවලී සහ සුමන නම් සමනේරයන් වහන්සේ නා ලොවෙන් ගෙන ආ මෙදවර්ණ පාෂණයෙන් සැය වසා දෙළොස් රියනක් උසට ස්තුපය නැංවූ බවට සදහන් වේ. සරබූ යනු සුමන රජුගේ වැඩිමහල් දියණියගේ දරුවකු බව ජනප්‍රවාද වල සදහන් වේ.

ලලාට ධාතුව (14)

මෙය බුදු සිරුරේ නළල් තලය ආශ්‍රිත ධාතුවය. පැරණි වංස කතා වලට අනුව, මෙම ධාතුව මලල රජදරුවන් ලබාගත් ධාතු කොටසට අයත් විය. ඉන්පසු කාලයෙන් කාලයට රහතුන්වන්සේලා විසින් ආරක්ෂාකරමින් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි ස්ථාන වල තබමින් වන්දනා කර ඇත.

මහාවංසය අනුව දෙවනපෑතිස් රජුගේ සොහොයුරා වන මහානාග කුමරු රුහුණට පලායන්නේ මහින්දාගමනයට පෙරය. ඉන්පසු රුහුණේ ඇති නාග විහාරය(තිස්සමහාරාමය හෝ ඒ අසල වෙනත් විහාරයක) නම් වූ ස්ථානයක ලලාට ධාතුව තැම්පත් කර වන්දනා කලබව සදහන් ය. මහානාග රජු මෙම ධාතුව ලබාගන්නේ ලක් පොලවේ “හත්ථොට්ඨ” ජනපදයේ කුක්කුට පර්වතය අසල සල් ගසක් යට වූ ආරාමයකින් ය. ඒ වනවිටත් එහි ජනයා පන්සිල් හා අටසිල් රකිමින් ද දානාදී පින්කම් කරමින්ද සිටිබව සදහන් වේ. (බොහෝවිට මහින්දාගමනයට පෙර) එම ආරාමයට ලලාට ධාතුව වැඩමවූයේ කොසබෑ නුවර ඝෝසිතාරාමයේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින් බව ධාතු විස්තරයේ සදහන් වේ. ඉන්පසු මහානාග පරපුරෙන් රුහුණේ පැවත එන කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, පෙරකී කේශධාතු මෙන්ම ලලාට ධාතුවද සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ. එදා සිට (කි.පු. දෙවන සියවස දුටුගැමුණු රජුට පෙර) අද දක්වා එම ස්ථානයේ “ලලාට ධාතුව” ඇති බවට විශ්වාස කෙරේ.

දකුණු යටි දළදාව (15)

කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමා දේවිය කරවූ සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැම්පත් කර ඇත. ද්‍රෝන බමුණා විසින් පාදයෙන් යටකර සගවාගත් එමධාතුව, ජයසේන නම් නා රජු නාලොවට රැගෙන ගොස් වන්දනාමාන කළේය . අරිෂ්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතඑන මහාදේව රහතුන්ගේ ශිෂ්යවූ මහින්ද නම් රහතන් වහන්සේ නමක් නාලොවට වැඩ, දළදාව රැගෙන ආ බව සදහන් වේ.

වම යටි දළදාව (16)

ද්‍රෝන බමුණා ධාතු බෙදීමට පෙර, සැරියුත් රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ ඛේම රහතන් වහන්සේ වම යටි දළදාව ලබාගෙන බ්‍රහ්ම දත්ත නම් කලිගු දේශයේ රජකුට භාරදෙන ලදී. ඉන් පසු සුභාසීව කලිගු රජු සමයේ, පඩි රජුගේ බෑනා කෙනෙකු යුද්ධ කර දළදාව ලබාගැනීමට සැරසුන අතර ඉන් බියට පත් වූ සුභාසීව රජු තම දියනියවූ හේමමාලා සහ බැනනුවන් වූ දන්ත කුමරු අත සිංහලයට වැඩමවූ බව සදහන් වේ. සුභාසිව රජු එම යුද්දයේදී මරණයට පත්විය . සිංහලයට එන ගමනේදී දකුණු දිසාවේ වැලි වලින් සැදු දාගැබක දළදා වහන්සේ රැදවූ බවත්, ඉන් නාගයෙකු සොරාගෙන නැවතත් රහතන්වහන්සේ කෙනෙකුගේ උදව්වෙන් ලබාගත් බවත් සදහන් කරයි . එලෙසම රුවල් සහිත යාත්‍රාවකින් ජලමාර්ගයක ගමන් කර, කිත්සිරි මෙවන් රජු දවස අනුරාධපුරයට පැමිනුනි. එදා සිට අද දක්වා විවිධ රාජධානි වල තැම්පත් කරමින් වර්තමානයේ මහනුවර දළදා මාලිගයේ වැඩසිටින්නේ එම දන්ත ධාතුන් වහන්සේය .

දකුණු අකු ධාතුව (17) උරහිස් අස්ථිය

දෙවැනි පෑතිස් රජදවස මිහිදු හිම්යන්ගේ උපදෙස් පරිදි සුමන සාමනේරයන් (සගමිත් තෙරණියගේ ගිහිකල පුතු ) සක්දෙව් හමුවී, ඔබ ලග ඇති වම සහ දකුණු අකු ධාතුන් එකක් ඉල්ලා සිටි සේක. එවිට සක්දෙව් සිළුමිණ සැයේ හි තැම්පත් කර තිබු දකුණු අකු ධාතුව ලබාදුන් බව සදහන් වේ.

අකු ධාතුව ඇතු පිට නංවා දාගැබකට සුදුසු ස්ථානයක් සොයමින් යන අතර එක ස්ථානයක ඇතු නැවතුනේය. එයට හේතුව වුයේ, එම ස්ථානයේ කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුවද, කෝනාගම බුදුන්ගේ පටි ධාතුවද, කාශ්‍යප බුදුන් ගේ ජල සාටිකාවද මෙහි තැම්පත් කර තිබීමය. දෙවනපෑතිස් රජතුමා එම ස්ථානයේ දාගැබක් කර අකුධාතුව තැම්පත් කළේය. සිවු බුදු වරුන්ගේ ධාතු තැම්පත් කල ස්ථානයේ සැදු එම දාගැබ අනුරපුරයේ ථුපාරාමය නමින් අදත් විරාජමාන වන්නාහ.

එදා මල්ලවරජදරුවන් ගේ උයනේ ආදාහනය කල බුදු සිරුරේ ආදාහනය නොවී එම ආකාරයට ඉතිරිවූයේ හිසට ආසන්නව තිබු දන්ත දාතු සතරක්, ලලාට ධාතුව, ග්රීවා ධාතුව සහ වම දකුණ අකු ධාතු පමණි. සෙසු අස්ථ කොටස් කුඩා කැබලි බවට පත්විය. එහි කොටසක් මුන් පියලි වල ප්‍රමාණයෙන් ද, කොටසක් සහල් ඇට ප්‍රමාණයෙන් ද, කොටසක් අබ ඇට ප්‍රමාණයෙන් ද විසිරුන බව සදහන්ය. ද්‍රෝන බමුණා එදා එම කුඩා ධාතු බෙදු භාජනය (cup) ද්‍රෝනය නමින් හැදින්වූ වූ අතර කුඩා කොටස් එකතුකළ විට ද්‍රෝන අටක් (8 cups) තිබු බව සදහන්ය.

ඉන්පසු එම ද්‍රෝන අට රාජ්ජයන් අටකට බෙදාදුන් අතර ඒවා ස්තුප අටක තැම්පත් කෙරුණි. ඒවා අතර රාම ග්‍රාමයෙ කෝලිය වංසිකයන් ද, කිඹුල්වත් පුර ශාක්‍ය වංසිකයන් ද, විශාලා නුවර ලිච්චවී රජදරුවන් ද රජගහනුවර, අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර, පාවා නුවර සහ කුසිනාරා නුවර තැනු ස්තුප අයත් ය. පීප්පලි නුවර මොවුර්ය රජදරුවන් පැමිණියේ ධාතු බෙදාදීමෙන් පසුවය. එබැවින් ඔවුන් චිතකයේ අගුරු රැගෙන ගොස් “අන්ගාර” නම් චයිත්යක් කරවීය. එලෙසම ද්‍රෝන බමුණා දාතු බෙදාදුන් “බදුන” රදවා දාගැබක් කරවීය. ද්‍රෝන බමුණා ධාතු බෙදීමට මුලික වුයේ ඇතිවීමට ගිය යුධ තත්වයක් වැලක්වීමටය .
එකල සියලු එහි පමණි සියලු රටවල රජදරුවන් අතර ද්‍රෝන බමුණාගෙන් ශිල්ප උගත් සිසුවන් සිටිබවින්, ඔහු හට ධාතු බෙදා තත්වය සමනය කිරීමට හැකි වූ බව සදහන්ය .

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්දනාමාන කිරීමට ච්යිත්ය දහයක් සැදු බව මෙයින් පැහැදිලිවේ. එනම් ද්‍රෝන 8 + අන්ගාර + නැලිය = 10

බුදුරජානන් වහන්සේගේ පරිනිර්වාණ සිදුවී කලක් ගියකළ, මෙසේ තැන් තැන් වල තැනු ච්යිත්ය අටක තිබෙනා ධාතු අනාරක්ෂිත බවත් ඒවා අන්‍ය ආගමිකයන් නිසා කිලිටි හැකි බවත් මහා කාශ්‍යප හිමියන්ගේ අදහස විය. එබැවින් අජාසත් රජුගේ අනුග්‍රහයෙන් ධාතු නිදන්කිරීමට විශේෂ ස්ථුපයක් රහසේම කෙරවිණි. ඉන් පෙර ධාතු තැම්පත් කල ද නිදන් කිරීමක් සිදු නොවිය. තැම්පත් කිරීම යනු ඕනෑම කෙනෙකුට දැක බලාගත හැකි ආකාරයෙන් (ප්‍රදර්ශනය) විහාරයක් තුල තැබීමය. නිදන් කිරීම යනු කිසිම කෙනෙකුට ලගාවිය හෝ දැකගත හෝ නොහැකි ලෙස ශක්තිමත් ගර්භයක රැදවීමය.

අජාසත් රජු, එම විශේෂ ස්තුපය රහසිගත ස්ථානයක, කාටවත් ලංවිය නොහැකි ලෙස වායුවෙන් ක්‍රියාත්මක වූ යන්ත්‍ර යොදා ආරක්ෂාකර (බ්‍රමණය වෙමින් තිබු කඩු සහිත යන්ත්‍රයක්) ධාතු නිදන් කර වීය. කලින් බෙදා දුන් ද්‍රෝන අටෙන් සතක්ම එහි තැම්පත් කරන ලදී , රාම ග්‍රාමයේ කෝලිය වන්සිකයින් තැනු ච්යිත්‍යයේ ධාතු වෙත නාග ආරක්ෂාවද වූ නිසා ලබා නොගැනිණ. කපිලවස්තු මෙන්ම ලිච්චවී ඇතුළු ද්‍රෝන සතම එහි තැම්පත් කෙරුණි. එබැවින් අජාසත් රජු සමයෙන් පසු කපිලවස්තු පුර ධාතු නොවීය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු දෙසිය ගණනක් ගෙවුන කල රජවූ අශෝක රජ විහාර අසු හාරදහසක් කිරීමට ධාතු ලබාගන්නා අටියෙන් ධාතු ඇතැයි පෙර සම්මතයේ තිබු විහාර අට බිඳ (කපිලවස්තු පුර විහාරයද ඇතුළුව) පරීකෂා කරද ධාතු හමු නොවීය. වයස්ගත භික්ෂුන් ගෙන් විමසුවද ධාතු කොහ්දයි කිසිවෙකු දන සිටියේ නැත. ඉන් එක භික්ෂුන් වහන්සේ නමක් තමාගේ ගුරු හාමුදුරුවන් විසින් ආරක්ෂාකරගත යුතු යි පෙන්වූ ගර්භයක තිබී පෙර කල නිදන් කල ද්‍රෝන සත හමු විය. එම ගර්භය බිදීම එතරම් පසු කරුණක් නොවීය , ඊට සක්දෙව් ගේ උපකාරය ලබාගැනීමට සිදුවිය. එය තුල තිබුයේ ද්‍රෝන සතක් බව දන ඉතිරි එක කොහිදැයි ? රජු විමසු බවත්, එය රාම විහාරයේ තිබී ගංවතුරට ගසාගෙන මුහුදට ගොස්, මුහුදු වැල්ලේ තිබෙනු දැක මාන්ජරික නාරජු ලබාගත් බවත්, රහතන් වහන්සේ පැවසු සේක.

ද්‍රෝණයක් ධාතු (18)

දුටුගැමුණු රජතුමා ඉදිකළ රුවන්වැලි සැයේ රදවා ඇත්තේ, කෝලිය වන්සිකයන්ට බෙදාදුන් ධාතුය. සෝනුත්තර නම් සාමනේරයන් වහන්සේ නමක් නා ලොව වැඩ මහකෙල නම් නාරජු හමුව ධාතු විමසුවද නැතැයි පැවසීය. එය වාසුල දන්ත නම් නාගයෙකු සගවාගෙන විසිය. සෝනුත්තර හිමි සම්‍යක්ප්රෝගයකින් ධාතු ලබාගෙන පැමිණියේය.

අද අප පැහැදිලිව හදුනාගත් වැඩිම ප්‍රමාණයක් ධාතු ඇති දාගැබ රුවන්වැලි මහා සෑය වන්නේ එම නිසාය.

උර්ණ රෝම ධාතුව (19)

බුදුරජුන් ගේ නළලේ පිහිටි මෘදු රෝමය, උර්ණ රෝම ධාතුව නම් වේ. මහා පුරුෂ ලක්ෂණයක් වන මෙය දකුණට කරකැවී දගරයක ආකාරයට පිහිටා ඇත. බුද්ධ වග්ග පාලියට අනුව, කොසොල් රටේ ඇති බව සදහන් ය. පසුකලක ධර්මාශෝක රජු හරහා මිහිදු හිමියන් විසින් උර්ණ රෝම ධාතුව සහිත අෂ්ටවංක මානික්‍ය සමගම මිහින්තලයේ සෑගිරි පර්වතයේ නිදන් කළහ. කලකට පසු මහදැලියාන රජු ස්ථුපයක් කරවා ඇත. අද එය මිහින්තලා මහා සැය නම් වන අතර පෙරකළ අම්බුළු දාගැබ යනුවෙන් ද හදුන්වා ඇත.

වම අකු ධාතුව (20) උරහිස් අස්ථිය

තිස්සමහාරාමයේ ඇති බව සදහන් සෙල් ලිපියක්, ලැබුන බව බුදුසරණ පුවත් පතේ පලවී තිබුණි. වංස කතාවට අනුව මෙය තිබිය යුත්තේ සිළුමිණ සැයේහි ය .

නඛා (නිය පොතු ) ධාතුව. (21)

අම්පාර දිස්ත්‍රික්කයේ දීගවාපි මහාසෑයේ බුදුරජාණන් වහන්සේගේ වම හස්තයේ නියපොතු තැම්පත් කර ඇතයි සදහන් වේ. මෙහි සද්ධා තිස්ස රජු ස්තුපය කරවා ඇත .

නඛා වෙහෙර යනු නඛා ධාතු තැම්පත් කල විහාරය. මේවා ලංකාවේ බොහො ගනක් දක්නට ලැබේ.

කැකිරාව පල්ලේකා ගම නඛා වෙහෙරක් ඇත (22) අනුරාධපුර නගරයේ තවත් නඛා වෙහෙරක් ඇත (23)

එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයයෙද නඛා ධාතු, කේෂ ධාතු ද නිධන් කර ඇති බවට විශ්වාසයක් පවතී.

පාත්‍රා ධාතුව (24)

සතරවරම් දෙවිවරු පුජාකළ පාත්‍ර සතර, බුද්ධ අදිෂ්ඨානයෙන් එක්වීය. ශෛලමය ඉඳුනිල්වන් වූ එම පාත්‍රය මිහින්තල අම්බස්තල ච්යිත්‍යයේ තැම්පත් කර ඇත .

දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ පාත්‍ර ධාතූන් වහන්සේ නමක් තැන්පත් ව ඇතැ’යි සැලකේ (25)

ජනප්‍රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව බුදුරදුන් දන් වැළඳූ තවත් පාත්‍රා ධාතූවක් තැන්පත් ව ඇත්තේ කෑගල්ල ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි (26)

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අසා පැවසේ. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු, අද කෙනෙකු බුදු වන්නට යන බවට අනාවැකියක් පලකල බව ද සදහන්ය . එම පාත්‍රය අද සොයාගන්නට නැත.

ජල සාටිකා ධාතුව (27) නොහොත් දියනෑමට භාවිත කළ සිවුර

අද එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයේ නිදන්කර ඇත.

පටි ධාතුව (28)

අනුරාධපුරයේ ජේතවනාරාමය තුල කේශ ධාතු වලට අමතරව, බුදුන්ගේ පටි ධාතුව (ඉන බැදී පටිය) සහ තවත් අස්ථි ධාතු අඩංගුවන බව ජේතවනාරාමය වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය.

රන් අසුන (29)

කතරගම කිරි වෙහෙරේ, අසිපත හා කේශධාතු වලට අමතරව බුදුන් වැඩසිටි රනින් කර අසුනක් (පුටුවක්) ඇති බව සදහන් වේ.

මැණික් අසුන (30)

එදා චුලෝදර හා මහෝදර දෙබැයන් පුජාකළ මැණික් පුටුව මනිඅක්ඛික නා රජු සිටි පෙදෙසේ විහාරයක තැම්පත් කල බව සදහන්ය.

නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති බුදුමුත්තාව රජමහා විහාරයේ, කිසාගෝතමීය බුදුනට පිදු මුතුහර තැන්පත් කර ඇතැයි විශ්වාසයක් පවතී. බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි (31)

මහින්දා ගමනයෙන් පසු, ථුපාරාමයට දාතු ලබාගැනීමේ අදිටනින් මගදයට පැමිණි සුමන සාමනේර හට, අශෝක රජු පාත්‍රයක් පුරවා ධාතු ලබාදුන් බව සදහන්ය. එම ධාතු කලක් මිහින්තලයේ රදවාගෙන පසුව ඇතකු පිට වැඩමවාගෙන ගොස් සතර ගව්වෙන් සතර ගව්ව, මුළු ලක්දිව පුරාම දාගැබ් කරවා නිදන්කළ බව සදහන්ය. ගව්ව යනු එතරම් දුරක් නොවේ. ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවෙවායි පවසන්නේ එම නිසායය. පාත්‍රයක් පිරවීමට කුඩා ප්‍රමාණයෙන් විසිරුණු දාතු දහස්ගනනක් දැමිය හැකි බව නම් නොඅනුමානය. අද ලංකාවේ ඇති වෙහෙර විහාර ප්‍රමාණය දකිනවිට මෙයනම් සබැ සත්යක් ම වියයුතු බව පසක් වේ.

ධාතු පරිනිර්වාණය.

ධාතු විස්තරය ඇති වංස කතාවල බුද්ධ සාසනයෙන් වසර පන්දහසක් ගෙවුන කල සියලුම ශාරීරික ධාතුන් වහන්සේලා පරිනිර්වාණය වන බව සදහන්ය. එදිනට ස්තුපවල ඇති ධාතුන් වහන්සේලා අහසට පැන නැග අනුරාධ පුරයේ රුවන්වැලි සැයේ ඇති ද්‍රෝණයක් ධාතු හා එක්වෙයි. ධාතු නිදන්කළ දා සිට රුවන්වැලි සෑය තුල දැල්වූ සිංහා තෙල් පහන එදින නිවී යයි. ඉන්පසු නාගදීපයට වැඩ සියලු ධාතු මැණික් පුටුව මත පිහිටමින් නාගයන් ගේ වැදුම් පිදුම් වලට ලක්වන්නේය. අවසානයේ නැවතත් අහසට නැග එදා බුදුන් බුදුවූ බෝගස යට වජ්රසන්ය මත පිහිටා, බුදුරුවක් නිර්මාණය වී පෙලහර පාන්නේය. සවනක් ඝන බුදුරැස් විදන්නේය. අවසානයේ මහත් ගිනිජාලාවක් පැනනැගි සියලුම ධාතු ආදාහනය වන්නේය. අළු හෝ දැලි කිසිවක් ඉතිරි නොවන්නේය .

සාදු සාදු සාදු !!!

1 COMMENT

  1. එක් ඒක් ධාතු වර්ග වලට අදාල වන මූලාශ්‍ර පිළිබද දැනගන්න පුළුවන්ද?

LEAVE A REPLY